මෙනින්ගොකොකල් ආසාදනය වී ඇත්තේ දෙදෙනෙක් ට පමණයි

මෙරටින් හඳුනා ගෙන ඇත්තේ මෙනින්ගොකොකල් බැක්ටීරීයා ආසාදිතයන් දෙදෙනෙක් පමණක් බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදු කළ පරීක්ෂණවල දී තහවුරු කර ගෙන තිබෙනවා.

ඒ ගාල්ල බන්ධනාගාරයේ එක් පුද්ගලයෙකුට සහ කොළඹ ජා ඇල ප්‍රදේශයේ පුද්ගලයෙක් ට වන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

එසේම මෙම රෝගය වැළඳුණ රෝගීන් මීට පෙර වසරවල ද කොළඹ ඇතුළුව ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.

මේ අතර බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ක්ෂුද්‍රජීවී විශේෂඥ වෛද්‍ය ලිලානි කරුණානායක මහත්මිය පැවසුයේ බැක්ටිරියා මගින් ඇති වන මෙම රෝගය සෙම සහ කෙළ මගින් ව්‍යාප්ත වන බවයි.

එය ඉතාම සමීප ඇසුරක් තිබෙන අය අතර ව්‍යාප්ත වීමට වැඩි ඉඩ කඩක් පවතින බවත් දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන්නේ මෙම රෝගයේ B හා C කාණ්ඩ දෙක පමණක් බවත් ඇය වැඩිදුරටත් පවසනවා..