මහ බැංකුව පළමුවරට මුදල් ප්‍රතිපත්ති වාර්තාවක් ප්‍රකාශයට පත්කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පළමුවරට මුදල් ප්‍රතිපත්ති වාර්තාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දේශීය සහ ගෝලීය වශයෙන් වත්මන් සර්ව ආර්ථික ප්‍රවණතා සහ ඒවායේ ඉදිරි දැක්ම විශ්ලේෂණය කිරීම මත පදනම්ව උද්ධමනය සහ අනෙකුත් ප්‍රධාන සර්ව ආර්ථික විචල්‍යයන්ගේ හැසිරීම පිළිබඳ මහ බැංකුවේ ඉදිරි දැක්ම මුදල් ප්‍රතිපත්ති වාර්තාව මඟින් ඉදිරිපත් කරනු ලබනවා.

එසේම දැනට පවතින සහ අපේක්ෂිත ප්‍රවණතා සලකා බලමින් උද්ධමනය සහ ආර්ථික වර්ධනය පිළිබඳව සිදුකර ඇති පුරෝකථන සඳහා පවතින අවදානම් පිළිබඳ තක්සේරුවක් ලබාදීම ද මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ එක් අරමුණක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙමඟින් මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති සම්පාදනයේ විනිවිදභාවය සහ වගවීම ඉහළ නංවන අතර මහජනතාවගේ උද්ධමන අපේක්ෂා ස්ථායි කිරීමට ද සහාය වන බව යි.