ශාසනික ඉතිහාසයේ මෙන්ම ශ්‍රී ලංකා ඉතිහාසයේ ද වැදගත් සිදුවීම් රාශියක් සිදු වී ඇති ඇසළ පොහෝ දිනය මේ වසරේ අගෝස්තු පළමුවෙනි දා එනම් අදට යෙදී තිබෙනවා.
අප මහා බෝසතාණන් වහන්සේ කාලය, දීපය, දේශය, කුලය සහ මව යන පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා එවකට කපිලවස්තු නම් වූ නුවර රජ කළ සුද්ධෝධන රජුගේ අගමෙහෙසිය වූ මහාමායා දේවිය ගේ කුස පිළිසිඳ ගත්තේ අද වැනි ඇසළ පොහොය දිනයක ය.
එසේම සිදුහත් බෝසතාණන් වහන්සේ සතර පෙර නිමිති දැකීමෙන් පසුව ගිහිගෙය කලකිරී මහා අභිණිෂ්ක්‍රමණය කිරීම මෙන්ම බෝසතාණන් වහන්ස්ගේ ගේ පුත් රාහුල කුමරුගේ උපත සිදුවූයේ අද වන් වූ දවසකය.
බුදු වුණු පසු සහම්පති මහා බ්‍රහ්මයාගේ ආරාධනයෙන් යුතුව පස්වග මහණුන් උදෙසා ප්‍රථම ධර්ම දේශනාව දේශනාව සිදු කරන ලද්දේ ද ඇසළ පොහෝ දිනකය.
තවද තව්තිසා දෙව් ලොවට වැඩම කරමින් මාතෘ දිව්‍ය රාජයා ඇතුළු දෙවියන් සහ බඹුන්ට අභිධර්ම දේශනා කිරීම සිදු කරනු ලැබුයේ ද අද වැනි පොහොය දිනක බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වෙන්නේ.
පොසොන් පොහෝ දින සිදු වූ මහින්දාගමනයත් සමඟ දහම් අසා පැහැදුණු අරිට්ඨ කුමරු ඇතුළු 50 දෙනෙකු පැවිදි උපසම්පදාව ලැබුවේ ද, අදටත් මහනුවර දළඳා මාලිගාවේ විරාජමානව වැඩ සිටින බුදුරජාණන් වහන්සේ ගේ දළඳා වහන්සේ රැගෙන හේමමාලා කුමරිය සහ දන්ත කුමාරයා ලංකාපුරයට පැමිණියේ ද ඇසල පෝය දිනයක නිසා අද ශ්‍රී ලාංකිකයන් ලෙසට අපටත් විශේෂ වැදගත්කමක් සහිත පොහෝ දිනයක් වෙනවා.
විහාරස්ථානවල වැඩවසන භික්ෂූන් වහන්සේලා වස්විසීම ආරම්භ කරනු ලබන්නේ ද ඇසළ පුරපසළොස්වක පොහොය දිනයේ සිට වීම තවත් එක් විශේෂත්වකි.
අද දිනයේ විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් දාන සීල භාවනා ආදී නොයෙකුත් පිංකම් රාශියක් සිදු කෙරෙනවා.
එසේනම් ඔබ සැමට පින්බර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා.
තෙරුවන් සරණයි !

