සංශෝධන සහිතව දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්මත වෙයි

සංශෝධන 193ක් සහිතව දූෂණ විරෝධි පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත වී තිබෙනවා.

ඒ අනුව පිහිටුවන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට වඩාත් ස්වාධීනව කටයුතු කිරීම සඳහා මෙමගින් නෛතික ප්‍රතිපාදන සැලසෙනු ලබනවා.

නව දූෂණ විරෝධි පනතින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු පුද්ගල ලැයිස්තුවට, මෙතෙක් ඇතුළත්ව නොසිටි ජනාධිපතිවරයා, ආණ්ඩුකාරවරුන්, තානාපතිවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ තානාපති කාර්යාලවල විධායක නිලධාරීන් ඇතුළු පාර්ශ්ව රැසක් ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණු නව දූෂණ විරෝධි පනතින් අල්ලස් සහ දූෂණ වැරදි පිළිබඳ චෝදනා අනාවරණය සහ විමර්ශනය කිරීමට, වත්කම් සහ බැරකම් ප්‍රකාශ ආශ්‍රිත වැරදි සඳහා නඩු පැවරීමට ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට විධිවිධාන සලසා තිබේ.

මේ යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ස්ථාපිත කෙරෙනු ඇත.

කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් තිදෙනා පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරී ඇති අතර, එය සිදුකෙරෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්වය.