සෑම වසරකම මැයි පළමුවෙනිදා ලෝක කම්කරු දිනය ලෙස සමරනු ලබනවා.
1886 මැයි මස 01 වැනිදා තම වැඩමුරය පැය 8 කට සීමාකරන ලෙස ඉල්ලමින් අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්වූ කම්කරුවන් විසින් විරෝධතා ආරම්භ කළහ. බොහෝ ජීවිත හානි සිදු වෙමින් දින කිහිපයක් පැවති විරෝධතා වල ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් සිය සේවා අයිතීන් දිනා ගැනීමට සමත් විය.
කම්කරුවන්ගේ එම අරගලය ආරම්භ වූ මැයි මස පළමුවන දින 1889 වසරේදී ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.ඒ අනුව ලොව සෑම රටක්ම මැයි මස පළමු වන දින ලෝක කම්කරු දිනය සමරන අතර දිවි පිදූ කම්කරු සගයින් සිහි කරමින් පෙළපාලි, රැලි සහ උත්සව සංවිධාන කිරීම සිදුවේ.
මෙවර 2023 වසරේ සමරනු ලබන්නේ 137 වන මැයි දිනය යි.
ලෝක කම්කරු දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ, සෑම විටම කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට තමන් ක්‍රියාකළ අතර ඔවුන්ගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද දිනාදෙමින් ශ්රමයට නිසි වටිනාකමක් ලැබෙන යහපත් අනාගතයක් නිර්මාණය කිරිම අද දවසේ අපේක්ෂාව බවය.
සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධව මේ වන විට අනියත බියක් ඇති කිරිමට ඇතැම් පාර්ශව උත්සහ කළද වැඩකරන ජනතාව වෙනුවෙන් ස්ථාපිත ඇති එම අරමුදලට කිසිදු හානියක් සිදුවීමට ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

