වැස්සත් එක්ක ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

කළු, නිල්වලා. ගිං, වලවේ සහ කුඩා ගඟ යන ගංගාවල මෙන්ම අත්තනගලුඔයේ  ජල මට්ටම ද ඉහළ යමින් පවතින බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ගිං ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමග බද්දේගම, තවලම, නාගොඩ සහ වැලිවිටිය – දිවිතුර ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ද හටගෙන ඇති බව වාර්තා වේ.

‍මේ පවතින තත්ත්වය පිළිබඳව පැහැදිලි කරන වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර මහතා,

“වැඩිම වර්ෂාපතනයක් වාර්තා වන්නේ ගිං ගඟ ඉහළ ප්‍රදේශයෙන් දෙල්ලව ප්‍රදේශයට මිලිමීටර් 160 කට ආසන්න වර්ෂාපතනයක්. මේ තත්ත්වය යටතේ ගිං ගඟ සහ නිල්වලා ගඟ ජල මට්ටම් සැලකිය යුතු ඉහළ යාමක් දැකගන්න තියෙනවා. විශේෂයෙන්ම නිල්වලා ගඟ අකුරැස්ස සහින් පහළ ප්‍රදේශ සුළු ගං වතුර මට්ටමට ආසන්න මට්ටමකට පැමිණ තිබෙනවා. ඒ වගේම තවලම පහළ ප්‍රදේශ සහ බද්දේගම ආසන්න ප්‍රදේශ සුළු ගං වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. විශේෂයෙන්ම නාගොඩ සහ පෙරවිටිති උතුර වැනි පදිංචි ගම්කොට්ඨාස වල ජල පහත් බිම් බොහෝ දුරට යටවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම කළුගඟ විශේෂයෙන්ම මිල්ලකන්ද සහ කළුගඟ අතුගංඟාව වන කුඩා ගඟ ආශ්‍රිතව මිල්ලකන්ද සුළු ගං වතුර තත්ත්වයකට බොහෝ දුරට ආසන්න මට්ටමේ තියෙන්නේ. විශේෂයෙන්ම බුලත්සිංහල පාලින්දනුවර වැනි ප්‍රදේශවල පහත්බිම් මේ වන විටත් යටවීමේ හැකියාව තියෙනවා. අත්තනගලුඔය ජල මට්ටම විශේෂයෙන්ම දූනමලේ ජල මට්ටම සුළු ගං වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා.”