දීපාවලී උත්සවය වෙනුවෙන් ගමට යන්න විශේෂ බස් රථ සේවාවක්

එළැඹෙන දීපාවලී උත්සවය වෙනුවෙන් කොළඹ සිට ගම්බිම් බලා යන මගී ජනතාව වෙනුවෙන් ලංගම සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) එක්ව විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා.

මෙවර දීපාවලී උත්සවය නොවැම්බර් 8 වැනිදාට යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් ගම්බිම් බලා යන විශාල පිරිසක් 6 වැනිදා සිට පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ සහ බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළ වෙත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නොවැම්බර් 6, 7 දෙදින තුළ කොළඹ සිට හැටන්, තලවාකැලේ සහ නුවරඑළිය ඇතුළු ප්‍රදේශ වෙත ධාවනයවන බස් රථවල ආසන විශාල ප්‍රමාණයක් මේ වනවිටත් වෙන්කරගෙන අවසන් බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ ආසන වෙන්කිරීමේ සේවාව පවත්වාගෙන යනු ලබන ආයතනය සඳහන් කරන්නේ.

මීට අමතරව යාපනය, වව්නියාව, බදුල්ල, මඩකලපුව සහ අම්පාර වැනි ප්‍රදේශ වෙත ගමන් කරන බස් රථවල ආසන ද මේ වන විට කඩිනමින් වෙන් වෙමින් පවතී.

එබැවින් උත්සව සමයේ ඇතිවිය හැකි අධික තදබදය මඟහරවා ගනිමින් තම ගමන් කටයුතු පහසුවෙන් සලසා ගැනීම සඳහා, 1315.lk හෝ sltbeseat.lk යන වෙබ් අඩවි වෙත පිවිස කල්වේලා ඇතිව ආසන වෙන්කරවා ගන්නා ලෙස අදාළ ආයතන මගී ජනතාවගෙන් ඉල්ලා සිටියි.