මහනුවර දළඳා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ විචිත්‍රවත් අවසන් රන්දෝලි පෙරහැර අද (27 වැනිදා) වීදී සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

පස්වරු 6.43ට යෙදී ඇති සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව පෙරහැර කරඬුව සහිත මංගල හස්තියා ශ්‍රී දළදා මාලිගාවේ වාහල්කඩ අසල සඳගල වෙත පය තබන මොහොතේ පෙරහැර ආරම්භ වනවා.

දළදා මාලිග පරිශ්‍රයේ මහමළුවෙන් පිටත් වන පෙරහැර අද දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් නැවත දළදා මාලිගා පරිශ්‍රයට පැමිණ මාලිගාවට ගෙවැද නිමාවට පත් වෙයි.

නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවලයන්හි රන්දෝලි සහිතව සතර මහා දේවාල පෙරහැර දළදා මාලිගාවේ පෙරහැර ද සමග අලි ඇතුන් නැටුම් සහ හේවිසි කණ්ඩායම් සහිතව විචිත්‍රවත් පෙරහැර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව අස්ගිරිය ගෙඩිගෙයි විහාරයෙහි දළදා කරඬුව තැන්පත් කිරීම අද රාත්‍රියේ සිදු කෙරේ.

අනතුරුව අලුයම සතර මහා දේවාල පිරිවරාගත් පෙරහැර ගැටඹේ දියකපනා තොට වෙත ගොස් දියකැපීමේ මංගල්‍යය සිදුකොට යළි අනිද්දා (28දා) අලුයම් පෙරහැර නැවත ගෙඩිගේ විහාරය වෙත ගමන් කරයි. අනතුරුව දහවල් පෙරහැර වීථි සංචාරය කොට දළදා මාලිගයට ගෙවැදී ඇසළ මහා පෙරහැර මංගල්‍යය නිමාවට පත්වෙයි.