නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදට (27) යෙදී තිබේ.

භික්ෂූන් වහන්සේ මෙන් ම සැදැහැති දායකයන් විසින් උදාර පෞරාණික බුද්ධ නියමයක් ඉටුකරන පොහොය දිනයක් ලෙස නිකිණි පුර පසළොස්වක් පොහොය දිනය සලකනු ලබයි.

බුදුරජාණනන් වහන්සේ රාහුල තෙරණුවන්ට රාහුලෝ වාද සුත්‍රය දේශනා කර ඇත්තේ අදවන් පොහොය දිනයක වන අතර එහිදි රාහුල තෙරණුවන් රහත්භාවයට පැමිණ ඇති බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසුව ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සිදු වන්නේ ද නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයකය.

අජාසත් රජුගේ දායකත්වයෙන් සහ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් රජගහ නුවර සප්තපර්ණි ගුහාව ඉදිරිපිට තෙමසක් පුරාවට මහ රහතන් වහන්සේලා පන්සිය නමකගේ සහභාගිත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූහ.

බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා වැදගත් කරුණු රැසක් ප්‍රථම ධර්ම සංගායනාවෙන් සිදුකිරීම ද මෙහිදී සුවිශේෂී වෙයි.

ආනන්ද මාහිමියන් රහත් භාවයට පත්වන්නේ ද අද වන් නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයකය. ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ද මහ රහතන් වහන්සේ රහත් භාවයට පත්වීමෙන් අනතුරුව ප්‍රථම ධර්ම සංගායනාවට සහභාගි වීමටද අවස්ථාව උදාවීම ද විශේෂත්වයකි.