රේගුවෙන් යළිත් වාර්තාගත ආදායමක්

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය තුළ රුපියල් බිලියන 1373.7ක ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා. 

මෙය වසරේ පළමු මාස 6 සඳහා නියමිතව තිබූ ආදායම් ඉලක්කය ඉක්මවා යාමක් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේ.

මුල් මාස 6 සඳහා රේගුවේ අපේක්ෂිත ආදායම් ඉලක්කය රුපියල් බිලියන 1,060.5ක් වූ අතර, රේගු දෙපාර්තමේන්තුව එම ඉලක්කය අබිබවා යමින් රුපියල් බිලියන 313ක අතිරික්ත ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇත.

මෙම වසර සඳහා රේගු දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති සමස්ත ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,206කි.

මෙම තත්ත්වයත් සමග, පසුගිය වසරේදී උපයාගත් රුපියල් ට්‍රිලියන 2.5ක වාර්තාගත සමස්ත ආදායම ද මේ වසරේදී ඉක්මවා යාමේ හැකියාවක් පවතින බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ජූලි මාසය සඳහා රේගුව වෙත පැවරී ඇති ආදායම් ඉලක්කය රුපියල් බිලියන 192.4ක් වන අතර, ඉන් පළමු දින දෙක තුළ පමණක් රුපියල් බිලියන 31ක ආදායමක් උපයා ගැනීමට රේගුව සමත්ව තිබේ.