2025/2026 අධ්‍යන වර්ෂය සඳහා රජයේ විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ කටයුතු 2026 සැප්තැම්බර් මාසයේ පළමු සතියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.
විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කිරීමෙන් අනතුරුව සියලුම ශිෂ්‍ය ලියාපදිංචි නාමලේඛන 2026 අගෝස්තු 31 වනවිට අදාළ විශ්වවිද්‍යාල වෙත යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි අද (06) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙකු විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඇය සඳහන් කළේ.
ඒ අනුව 2026 සැප්තැම්බර් මාසයේ පළමු සතියේ සිට පාඨමාලා ආරම්භ කිරීමේ නිශ්චිත දිනයන් ඒ ඒ විශ්වවිද්‍යාල වෙතින් තීරණය කිරීමට හැකි වනු ඇතැයිද ඇය සඳහන් කළාය.
මේ අතර මෙවර 2025/2026 අධ්‍යන වර්ෂය සඳහා නව උපාධි පාඨමාලා දෙකක් හඳුන්වා දීමටද කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
ඒ අනුව, රුහුණු විශ්වවිද්‍යාලය හි භූගෝලීය තොරතුරු පද්ධති පාඨමාලාව සඳහා සිසුන් 50 දෙනෙකු බඳවා ගැනීමට නියමිත අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලය හි ඉලෙක්ට්‍රොනික සහ බුද්ධිමය පද්ධති ඉංජිනේරු විද්‍යාව පාඨමාලාව සඳහාද සිසුන් 50 දෙනෙකු බඳවා ගැනීමට සැලසුම් කර ඇත.

