වැඩියෙන් බස් ගාස්තු ගත්තොත් 1955ට කියන්න

උත්සව සමයේ නියමිත ගාස්තුවට වඩා වැඩිපුර මුදල් අය කරන බස් රථ පිළිබඳව ‘1955’ ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ තොරතුරු ලබාදෙන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගී ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (ධාවන) ශෙරීන් අතුකෝරළ මහත්මිය සඳහන් කළේ, උත්සව සමයේ පවතින දැඩි මගී තදබදය ප්‍රයෝජනයට ගනිමින් බලපත්‍ර රහිත බස් රථ ධාවනයට එක්කර මගීන් සූරාකෑමේ අවදානමක් පවතින බවයි.

ඒ පිළිබඳව නිලධාරීන් දැඩි අවධානයෙන් පසුවන බවයි ඇය සඳහන් කළේ .

බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස කොළඹින් ගමන් ආරම්භ කිරීමට සූදානම් වූ බස් රථ හතක් (07) ඊයේ (11) දිනයේදී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත්, එම බස් රථ වහාම අධිකරණය වෙත යොමුකර නීතිමය ක්‍රියාමාර්ග ගත් බවත් අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් අනාවරණය කළා.