ටොන්ගා අසල රික්ටර් මාපකයේ 7.6 ක ප්‍රබල භූ කම්පනයක්

පැසිෆික් දූපත් රාජ්‍යයක් වන ටොන්ගා අසල රික්ටර් මාපකයේ 7.6 ක භූමිකම්පාවක් ඇති වී තිබෙන බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරනවා.

භූ කම්පනය හේතුවෙන් සිදු වූ කිසිදු හානියක් හෝ ජීවිත හානි පිළිබඳ ක්ෂණික වාර්තා නොමැත.

ටොන්ගා ජාතික ආපදා අවදානම් කළමනාකරණ කාර්යාලය වෙරළබඩ ප්‍රදේශ සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර, ජනතාව ඉහළ බිම්වලට හෝ අභ්‍යන්තරයට යන ලෙස දැනුම් දෙනු ලැබුවා.

කෙසේවෙතත් පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැවසුවේ “භූමිකම්පාව පෘථිවිය තුළ ඉතා ගැඹුරින් පිහිටා ඇති බැවින් සුනාමි තර්ජනයක් නොමැති” බවයි.

භූමිකම්පාව කිලෝමීටර් 238 (සැතපුම් 148) ක් පමණ ගැඹුරින් සිදුව ඇත, එහි කේන්ද්‍රය නීයාෆු නගරයේ සිට කිලෝමීටර් 150 ක් පමණ දුරින් පිහිටා ඇත.

ටොංගා දූපත ලෝකයේ භූ විද්‍යාත්මකව ක්‍රියාකාරීම කලාපවලින් එකක් වන “පැසිෆික් ගිනි වළල්ලේ” පිහිටා ඇති අතර එය නිතර භූමිකම්පා, සුනාමි සහ ගිනිකඳු ක්‍රියාකාරකම් වලට භාජනය වේ.