ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 480ක්

ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් අනුමත කර තිබූ මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 380 සිට 480 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

මෙරට පවතින ආර්ථික සහ සමාජීය තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම බැංකුව මෙම තීරණය ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

මේ යටතේ වැඩිකරන ලද මුළු මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 200ක ප්‍රමාණයක් වහාම ක්‍රියාත්මක වන පරිදි නිදහස් කිරීමට ද ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර ඇති බව සඳහන්.

මෙම අතිරේක මූල්‍ය පහසුකම් මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති තවදුරටත් ශක්තිමත් කිරීමට සහ අත්‍යවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා යොදා ගැනීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.