මේ ගිනි ගහන රස්නේ හදමුද කූල් Brazilian Lemonade එකක්

මේ දවස් වල තියෙන රස්නේ ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. ඉතින් මේ රස්නෙට විසඳුමක් ලෙස ගොඩක් ලේසියෙන් හදන්න පුළුවන් බීමක් තමයි Brazilian Lemonade කියන්නේ.

ඇත්තටම ඔයාට මේක හරිම ලේසියෙන් ඉතාම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් භාවිත කරලා හදන්න පුළුවන්.

මේකට ඕනේ වෙන්නේ මෙන්න මේ දේවල්,

  • හොඳට හෝදගත්ත දෙහි ගෙඩි 3ක් හෝ 4ක්
  • සීතල වතුර කෝප්ප 3ක්
  • ටින් කිරි කෝප්ප 1/2ක්
  • සීනි මේස හැඳි 2-3 ක්
  • අයිස් කැට

දැන් බලමු මේක කොහොමද හදා ගන්නේ කියලා

ඉස්සෙල්ලම දෙහි ගෙඩි ටික හොඳින් සෝදා, පොත්ත පිටින්ම කුඩා කැබලි වලට කපාගන්න. දෙහි ගෙඩියේ දෙපැත්තේ ඇති ගැට කොටස් ඉවත් කරන්න.

බ්ලෙන්ඩර් එකට කපාගත් දෙහි කැබලි, සීතල වතුර සහ සීනි එකතු කරන්න. මෙය තත්පර 15-20 ක් පමණක් බ්ලෙන්ඩ් කරන්න.

වැදගත්ම දේ තමයි ගොඩක් වෙලා බ්ලෙන්ඩ් කරන්න එපා. පොත්තත් එක්කම බ්ලෙන්ඩ් කරන නිසා වැඩි වෙලාවක් බ්ලෙන්ඩ් කළොත් බීම එක තිත්ත වෙන්න පුළුවන්.

බ්ලෙන්ඩ් කරගත් මිශ්‍රණය පෙනේරයකින් (Strainer) හොඳින් පෙරාගන්න. පෙරා ඉතිරි වන රොඩු ටික අයින් කරන්න.

පෙරාගත් යුෂ ටික නැවතත් බ්ලෙන්ඩර් එකට දමන්න. දැන් එයට ටින් කිරි සහ අයිස් කැට කිහිපයක් එකතු කර තවත් තත්පර 15ක් පමණ හොඳින් බ්ලෙන්ඩ් කරන්න. (මෙතැනදී අයිස් කැට බ්ලෙන්ඩ් වීමෙන් ක්‍රීමි ගතියක් එනවා).

දැන් වීදුරුවකට අයිස් කැට කිහිපයක් දමා, සාදාගත් බ්‍රසීලියානු ලෙමනේඩ් එක වත්කර සීතලෙන්ම රසවිඳින්නයි තියෙන්නේ.