මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.
මැදින් පොහෝ දිනය ශාසනික වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහෝ දිනයක් ලෙසයි ශාසනික ඉතිහාසයේ දැක්වෙන්නේ.
ඒ අතරින් බුදුරජාණන් වහන්සේ විසි දහසක් පමණ ආර්යමහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝදන පිය රජතුමාටත් ස්වකීය ඥාතීන් වූ ශාක්‍ය වංශිකයන්ටත් අමා මහ නිවන් සුව ලබාදෙනු වස් රජගහ නුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත් පුරයට වැඩමවීමට ගමනාරම්භය සිදුවීම විශේෂ දෙයක් වනවා.
නන්ද කුමර පැවිදි කිරීම ද මැදින් පොහෝ දිනයක සිදු වී ඇති බව සඳහන්.
එසේම කිඹුල්වත් පුරයට පැමිණි සත්වන දින දායාද ඉල්ලමින් බුදුරජාණන් වහන්සේ පසුපස ගිය කුඩා රාහුල කුමරුන්ව පැවිදි කරනු ලැබුවා.
රහල් කුමරුන් ගේ පැවිද්ද නිසා සුදොවුන් රජුට බලවත් ශෝකයක් හට ගත්තේ ය. එතුමා සොවින් යුතු ව බුදුරදුන් වෙත අවුත් වැඳ එකත් පසෙක්හි හිඳ මෙසේ කීයේ ය. “පුත්ත පෙමං භන්තෙ ඡවිං ඡින්දති, ඡවිං ඡෙත්වා චම්මං ඡින්දති, චම්මං ඡෙත්වා මංසං ඡින්දති, මංසං ඡෙත්වා නහාරුං ඡින්දති, නහාරුං ඡෙත්වා අට්ඨිං ඡින්දති, අට්ඨං ඡෙත්වා අට්ඨිම්ඤ්ජා ආගම්ම තිට්ඨති”
යනුවෙන් “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දරු සෙනෙහස වනාහි සිවියත්, මසත්, නහරත්, ඇටත් විනිවිද ගොස් එයින් නො නැවතී ඇට මිදුලු වල හැපී පවතී යැ”යි කී ය.
මේ හේතුවෙන් මවගෙන් පියාගෙන් අවසර නොලැබ කුඩා දරුවන් පැවිදි නොකරන්න යනුවෙන් ශික්ශාපදයක් ද බුදුරජාණන් වහන්සේ විසින් පනවනු ලැබුවා.

