දිස්ත්‍රික්ක කිහිපයකට පනවා තිබූ නායයෑම් රතු නිවේදන ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ප්‍රදේශයේ ආරක්ෂිත තත්ත්වයන් පිළිබඳ සලකා බලා එම එම ප්‍රදේශවලින් ඉවත් කර තිබූ ජනතාව යළි සිය නිවෙස් වෙත යොමු කිරීමට පියවර ගත් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නේ.
මේ වන විට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පමණක් නායයෑම් රතු නිවේදන ලබා දී ඇත.
එමෙන්ම අද (23) දිනයේද සාමාන්‍ය පෙළ විභාගය සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවත් පැවසූ ඒ මහතා සියලු මාර්ග යථා තත්ත්වයට පත් කර ඇතැයිද විභාග මධ්‍යස්ථානය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව මේ සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවද සඳහන් කළේය.
මේ සම්බන්ධව වැඩිදුරටත් පැහැදිළි කළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා,
”මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කළ රතු නිවේදන ඉවත් කරලා තියෙනවා. මහනුවර දිස්ත්‍රික්කයට විතරයි මේ වන විට ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් රතු නිවේදන ලබා දීලා තියෙන්නේ. දිගින් දිගටම ජනතාව දැනුවත් කරලා ඉවත් කිරීමේ කටයුතු කළා. ඒ අනුව ඔවුන්ගේ ආරක්ෂිත බව තහවුරු කිරීමෙන් පසුව නිවෙස් වෙත යැවීමට ද කටයුතු කළා. අද උදෑසන වන විට සෝමාවතිය මාර්ගයේ විතරයි ජල ගැලීම් තත්ත්වයක් වාර්තා වෙන්නේ. අනෙක් මාර්ග යථා තත්ත්වයට පත්වෙලා තියෙනවා.
කෙසේවෙතත් අද දිනයේත් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙනවා. සියලු මාර්ග යථා තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් විභාග දෙපාර්තමේන්තුව සමග එක්ව සිදු කරන ඒකාබද්ධ සැලැස්ම අඛණ්ඩව ක්‍රියාත්මකයි. යම් ආපදාවක් ඇති වුවහොත් ක්ෂණික ප්‍රතිචාර දක්වමින් ඒ දරුවන්ව විභාග මධ්‍යස්ථානවලට රැගෙන යාමට සහ විභාග කටයුතු වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදීමට අපි කටයුතු කරනවා. ඒ සඳහා අපගේ සියලු හදිසි මෙහෙයුම් මැදිරි ක්‍රියාත්මකයි. හදිසි මෙහෙයුම් මැදිරි නිලධාරීන්, 117 දුරකථන අංක මැදිරි නිලධාරීන්, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, තාක්ෂණික අංශ මේ සියලු අංශ අවධානයෙන් පසුවෙනවා, යම් ආපදාවක් ඇති වුවහොත් ක්ෂණික ප්‍රතිචාර දක්වන්න. 117 දුරකථන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මකයි. කාලගුණය සම්බන්ධව ලබා දෙන නිවේදන පිළිබඳව ඔබ වඩාත් විමසිලිමත් වන්න“

