කිසිදු ගෑස් හිඟයක් නැහැ – ලිට්‍රෝ සමාගම කියයි

අනාගතයේදී කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බවත් ප්‍රමාණවත් පරිදි තොග පවතින බවත් ලිට්‍රෝ සමාගම පවසනවා.

ඒ හේතුවෙන් අනවශ්‍ය කලබලයක් ඇති නොකරගන්නා ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම ඉල්ලා සිටියේ.

ලිට්‍රෝ ගෑස් සඳහා වෙළඳපොළ ඉල්ලුමේ අනපේක්ෂිත වැඩිවීම හේතුවෙන් ගෑස් සැපයුමට යම් බාධාවක් ඇති වූ බව ඔවුන් පෙන්වා දෙනවා. 

සමාගම අවශ්‍ය පරිදි ප්‍රමාණවත් තොග මේ වනවිටත් ඇණවුම් කර ඇති බවත් සැපයුම තවදුරටත් ස්ථාවර කිරීම සඳහා මෙම මාසය අවසන් වීමට පෙර ගෑස් නැව් තුනක් මෙරටට පැමිණීමට නියමිත බවත් ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ අතර ලාෆ් පාරිභෝගිකයා ලිට්‍රෝ ගෑස් වෙත විතැන්වීම මෙම තත්ත්වයට බලපෑ බවයි අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ.

“පසුගිය සතියේ දවස් දෙකක් තුනක් තිස්සේ ලාෆ් ගෑස් සමාගම, ගෑස් බෙදාහරින එක නතර කරලා තියෙනවා. ඒ නිසා ගෑස් පාරිභෝගිකයා තුළ බියක් ඇති වෙලා තියෙනවා, ඒ පාරිභෝගිකයා දැන් ලිට්‍රෝ ගෑස්වලට මාරු වෙලා තියෙනවා. ඒ නිසා ගෑස් වෙළඳපොළේ ඇති වුණ හදිසි ඉල්ලුම නිසා අද, හෙට සහ අනිද්දා  මෙට්‍රික් ටොන් 1500ක් නිදහස් කරන්න සැලැසුම් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි දවසකට නිදහස් කළේ, මෙට්‍රික් ටොන් 1200යි. 

ලිට්‍රෝ ගෑස් හිඟයක් ඇති වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඉරිදා එනවා එක නැවක්, අඟහරුවාදා එනවා තව නැවක්, ඒ විදිහට නැව් ටික ශෙඩුල් කරලා තියෙනවා. 

අපි ලාෆ්ගෑස් සමාගමට නිශ්චිතව දැනුම්දීලා තියෙනවා. පාරිභෝගික අධිකාරියේ නිලධාරින් පෙරේදාත් ගෙනත් කතා කළා. අද ලිඛිතව භාර දුන්නා. පාරිභෝගිකයන් සිලින්ඩර අරගෙන ගෑස් නැති වුණාම ප්‍රායෝගිකව ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ඒ නිසා වහාම ගෑස් බෙදාහැරීමේ කටයුතු කරන්න. අපි දැනගත්ත ආකාරයට 25 වැනිදා තමයි ගෑස් ටික එන්න තියෙන්නේ.”