ආදරෙන් ආදරේ කියන ආදරවන්තයන්ගේ දිනය අද

ආදරවන්තයන්ගේ දිනය (Valentine’s Day) පෙබරවාරි 14 වෙනිදා එනම් අදට යෙදී තිබෙනවා.

ලොව පුරා වෙසෙන ආදරය කරන හදවත් උත්සවශ්‍රීයෙන් සමරන විශේෂ දිනයක් තමයි මේ පෙබරවාරි 14 කියන්නේ.

වර්තමානයේ මෙය වානිජකරණය වුණු උත්සවයක් වුණත් අතීතයේ මේ දවස ආගමික සහ සරල ආදරණීය සැමරුමක් ලෙස පවත්වලා තියෙනවා.

ශාන්ත වැලන්ටයින් (Saint Valentine) නම් පූජකවරයාගේ කැපවීම සිහිපත් කිරීම සඳහා වෙන්වූවකි.

රෝමය පාලනය කළ දෙවැනි ක්ලෝඩියස් අධිරාජ්‍යයා විශ්වාස කළේ විවාහක තරුණයන්ට වඩා තනිකඩ තරුණයන් යුද්ධයට දක්ෂ බවයි. විවාහ වූ පසු තරුණයන් තම බිරිය සහ දරුවන් ගැන සිතා යුද්ධයට යෑමට පසුබට වන බව සිතූ අධිරාජ්‍යයා, රෝමය පුරා තරුණයන්ට විවාහ වීම තහනම් කරමින් දැඩි නීතියක් පනවා තිබෙනවා.

මීට එකඟ නොවූ වැලන්ටයින් පූජකවරයා රහසින් පෙම්වතුන් විවාහ කර දීමට කටයුතු කළා. මේ පිළිබඳ අධිරාජ්‍යයාට සැලවීමත් සමඟ ඔහුව අත්අඩංගුවට ගෙන සිරගත කෙරුණා.

ඔහු සිරගතව සිටි කාලය තුළදී එහි මුරකරු වූ ජේලර්වරයාගේ දෑස් නොපෙනෙන දියණියට ඉගැන්වීම් කළා පමණක් නොව ඇය වෙනුවෙන් දැඩි ලෙස කැපවී කටයුතු කළා. ඔහුගේ ඒ අපරිමිත කරුණාව සහ යාඥාව නිසා ඇයට ආශ්චර්යවත් ලෙස දෑස් පෙනීම ලැබුණු බවයි ජනප්‍රවාදයේ දැක්වෙන්නේ.

අවසානයේ අධිරාජ්‍යයා පූජකවරයාට මරණ දණ්ඩනය නියම කළ අතර, ක්‍රිස්තු වර්ෂ 270 පෙබරවාරි 14 වැනිදා ඔහුව මරා දැමුණා.

මරණයට පෙර ඔහු ඇයට ලියා තැබූ හසුනේ අවසානයේ සටහන් වූ ‘From your Valentine’ යන්න ප්‍රේමයේ නාමයෙන් ලියැවුණු අවසන් සෙනෙහසේ පණිවුඩය වුණා.

ඉතින් අද දිනයේ තමන්ගේ ආදරය කරන පෙම්වතා පෙම්වතිය වගේම අනෙක් ආදරණිය අයටත් විවිධ තෑගී, රතු රෝස මල්, දෙනවා.

සැබෑ ආදරය යනු වසරේ එක් දිනකට පමණක් සීමා වූ දෙයක් නෙමෙයි. එහෙත්, ජීවිතයේ සැමදා අප අසලින් සිටින ආදරණීයයන්ට “මම ඔබට ආදරෙයි” කියා පැවසීමටත්, ඔවුන්ගේ වටිනාකම අගය කිරීමටත් මෙම දිනය අපට සොඳුරු අවස්ථාවක් ලබා දෙනවා.

එහෙනම් අද ආදරෙන් ආදරේ කියන්න ! ආදරේට ආදරේ කරන්න !