ඉන්දියාවේ පැතිර යමින් පවතින නීපා වෛරසය පිළිබඳ මෙරට ජනතාව අනියත බියක් ඇති කර නොගත යුතු බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසනවා.
අදාළ වෛරසය පිළිබඳව මෙරට සෞඛ්‍ය අංශ දැඩි අවධානය යොමුකර ඇති බවයි ඔහු පෙන්වාදෙන්නේ.
“ලංකාවට කිසිම ආකාරයක මේකෙන් තර්ජනයක් නෑ මේ වෙනකොට. ඉතිහාසයේ මේක කවදාවත් වසංගතයක් විදියට පැතිරිලා නෑ. ඒ නිසා අපි අනවශ්‍ය විදියට බිය විය යුතු නෑ. ඒ වගේම මේ වෛරස් එක තියෙනවා ද කියලා සැක සහිත පුද්ගලයින්ගේ පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල ලංකාව සතුව තියෙනවා. මේ වගේ වෛරස් එකක් පැතිරෙනකොට අපි ඉතා ළඟින් අධ්‍යයනය කරනවා ලංකාවට බලපෑමක් තියෙනවා ද කියලා. මේ වනතෙක් කිසිම රෝගියෙක් වාර්තා වෙලා නෑ. ලෙඩ සහිත පුද්ගලයෙකු ගුවන්යානයකින් එන්න තරම් හොඳ සෞඛ්‍ය තත්ත්වයක් නෑ. ඒ නිසා ලෙඩ සහිත පුද්ගලයින් ලංකාවට එන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. ඒ නිසා බය වෙන්න එපා.”
නීපා වෛරසය ආසියානු කලාපය හරහා පැතිර යා හැකි බවට අනාවරණය වීමත් සමග ආසියානු කලාපයේ බොහෝ රටවල් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
තායිලන්තය, සිංගප්පූරුව, හොංකොං සහ මැලේසියාව යන රටවල බලධාරීන් මේ සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ පරීක්ෂණ කටයුතු ද ආරම්භ කර ඇත.
මෙය වවුලන් සහ ඌරන් වැනි සතුන්ගෙන් වැලඳෙන වෛරසයක් ලෙස හඳුනාගෙන ඇති අතර මෙහි මරණ අනුපාතය 40%ත් 75%ත් අතර වන බව සඳහන්.
නීපා වෛරසය පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිර යා හැකි වුව ද එය සම්ප්‍රේෂණය වීම ඉතා සුළු වශයෙන් සිදුවන බවයි දැක්වෙන්නේ.

