නව දේශපාලන පක්ෂ පහක් ලියාපදිංචියට අනුමැතිය

නව දේශපාලන පක්ෂ පහක් ලියාපදිංචි කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව සමාජවාදී ජනතා පෙරමුණ, ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, මලෙයිග අරසියල් අරංගම්, සමත්තුව කඩ්චි, විප්ලවාදී ජනතා බලය යන පක්ෂ සඳහා මෙලෙස අනුමැතිය ලබා දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

පසුගිය වර්ෂය සඳහා නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට පැවති සම්මුඛ පරීක්ෂණවලින් අනතුරුව මෙම දේශපාලන පක්ෂ 5 ලියාපදිංචි කිරීම සඳහා තෝරා ගෙන තිබෙනවා.

2025 වර්ෂයේ දී දේශපාලන පක්ෂ 83ක් ලියාපදිංචිය සඳහා ඉල්ලුම් පත් යොමුකර තිබු අතර ඉන් දේශපාලන පක්ෂ 47ක් මුලික සම්මුඛ පරීක්ෂණ සඳහා තෝරාගනු ලැබීය.

අවසන් සම්මුඛ සාකච්ඡාවලින් අනතුරුව ඒ අතරින් මෙම පක්ෂ පහට ලියාපදිංචිය සඳහා අවසර ලබා දී ඇත.

ඒ අනුව මේ වන විට මෙරට ලියාපදිංචි පක්ෂ සංඛ්‍යාව 85ක් වනවා.