ප්‍රධාන ජලාශ 36ක් තවමත් වාන් දමයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පවතින ප්‍රධාන ජලාශ 36ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 46කට අධික ප්‍රමාණයක් මේ වන විටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කලමනාකරණ අධ්‍යක්ෂ එච්.පී.එස්.ඩී. හේරත් මහතා සඳහන් කරනවා.

අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 9න් ජලාශ 3ක්ද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ සියල්ලමද, බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 07න් 03ක්ද, මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 04න් ජලාශ 03ක්ද මේ වන විට වාන් දමන බවයි ඔහු පෙන්වා දුන්නේ.

මීට අමතරව, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 10න් ජලාශ 04ක්ද, මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 03න් ජලාශ දෙකක්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 10න් ජලාශ 04ක්ද, මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 03න් එක් ජලාශයක්ද විට වාන් දොරටු විවෘත කර තිබෙනවා.       

එමෙන්ම පොළොන්රුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 04න් ජලාශ දෙකක්ද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 05න් ජලාශ තුනක්ද, මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 04න් එක් ජලාශයක්ද වශයෙන් වාන් දමනවා.

මේ අතර අදාළ ජලාශවල වාන් දොරටු විවෘත කිරීම මගින් නිතුක් කෙරෙන ජල ප්‍රමාණයන් අවම ප්‍රමාණයක පවතින අතර ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනය අනුව මෙම ජලාශවල වාන් දොරටු විවෘත කිරීමේ ප්‍රමාණයන් වෙනස්විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කලමනාකරණ අධ්‍යක්ෂවරයා අවධාරණය කළේ.

එම නිසා එම ජලාශවල පහළ ප්‍රදේශවල ජනතාව අදාළ ජලාශවලින් ජලය නිකුත්කිරීමේ නිවේදන පිළිබඳ දැඩි අවධානයක් යොමුකිරීම ඉතාමත් වැදගත් වනවා.

එසේම මේ වන විට එම ජලාශවලින් නිකුත් කරන ජල ප්‍රමාණ මගින් ජලාශවල පහළ ප්‍රදේශවල ගංවතුර අනතුරක් හෝ ජල මට්ටම් ඉහළ යෑමක් නිරික්ෂණය නොවන බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කලමනාකරණ අධ්‍යක්ෂ එච්.පී.එස්.ඩී. හේරත් මහතා වැඩිදුරටත් පැවසුවා.