ප්‍රදේශ කිහිපයකට වැසි

ඉදිරි පැය 36 සඳහා බලපැවැත්වෙන පරිදි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැක.

එසේම සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.