නාවික හා ධීවර ප්‍රජාවට අවවාදාත්මක නිවේදනයක්

දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නවතම කාලගුණ වාර්තාවේ පෙන්වා දෙනවා.

දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන ප්‍රජාව, මේ පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. අනෙකුත් මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

එසේම සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. ගාල්ල සිට මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-60) පමණ දක්වා ඉහළ යා හැක. ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැක.

ගාල්ල සිට මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමේ අවධානමක් පවතී. ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.