ඩොල්ෆින් සතුන් කියන්නේ මේ වගේ ජාතියක් කියල දැනන් හිටියද

ලෝක ඩොල්ෆින් සතුන්ගේ දිනය සැප්තැම්බර් 12 වෙනි දා ට යෙදිලා තියෙනවා.

Delphinidae කියන පවුලට අයිති වෙන මේ ඩොල්ෆින් සතුන් බහුලව වාසය කරන්නේ මුහුදේ. ඒ වුණත් Amazon river dolphin වගේ ඩොල්ෆින් සතුන් මිරිදිය ආශ්‍රිතවත් වාසය කරනවා. දැනට ලෝකයේ ඩොල්ෆින් විශේෂ 40කට වඩා ඉන්නවා කියලා හොයා ගෙන තියෙනවා.

ඔවුන්ට තමන්ගේම කියලා භාෂාවක් තියෙනවා වගේම, සංකීර්ණ ගැටලු විසඳන්නත් පුළුවන්. ඒ වගේම, ඔවුන්ට තමන් ගැනම අවබෝධයක් තියෙනවා. ඒ කියන්නේ ඔවුන්ට තමන්ව කැඩපතකින් හඳුනාගන්න පුළුවන් කියලා හොයා ගෙන තියෙනවා.

මෙයාලා සාමාන්‍යයෙන් රංචු වශයෙන් තමයි ඉන්නේ . එක රංචුවක ඩොල්ෆින් සතුන් කිහිප දෙනෙක්ගේ ඉදන් සිය ගානක් දක්වා සතුන් ඉන්න පුළුවන්.

ඔවුන් එකිනෙකාට උදව් කරගන්නවා වගේම, රෝගී වූ හෝ තුවාල වුණු ඩොල්ෆින් සතෙක්ව රැකබලා ගන්නත් ඔවුන් එකට එකතු වෙනවා.

ඩොල්ෆින් සතුන් කියන්නේ සත්ත්ව ලෝකයේ ඉන්න බුද්ධිමත්ම සතෙක් කියලා හඳුන්වන්න පුළුවන්.

මෙයාල ආහාර විදිහට ගන්නේ දැල්ලෝ සහ කුඩා මාළු. මෙයාල මේ කෑම හොයා ගන්න සොනාර් පද්ධතියක් භාවිතා කරනවා. මේකේ දී එයාලා උස් සංඛ්‍යාත ශබ්ද නිකුත් කරලා, ඒ ශබ්ද නැවත එනකම් බලාගෙන ඉන්නවා. ඒ හරහා, ඔවුන්ට වතුර යට තියෙන දේවල් ගැන පැහැදිලි චිත්‍රයක් මවාගන්න පුළුවන්. මේකෙන් ඔවුන්ට තමන්ගේ ගොදුරු සොයාගන්න වගේම, ගමන් කරන්නත් පහසු වෙනවා.

ඩොල්ෆින් සතුන් තමන්ගේ පණිවිඩ හුවමාරු කරගන්න එක එක විදියේ ශබ්ද සහ විස්ල් වර්ග භාවිත කරනවා. විද්‍යාඥයන් සොයාගෙන තියෙන විදිහට, ඩොල්ෆින් සතුන්ට තමන්ගේම කියලා හඳුනාගැනීමේ ශබ්ද (signature whistles) තියෙනවා.

ඒ වගේම තමයි ඩොල්ෆින්ලා නිදාගන්නෙ හරිම පුදුම විදිහට. ඔවුන් නිදාගන්නකොට මොළයේ එක් පැත්තක් විතරක් නිද්‍රාවට යනවා. අනිත් පැත්ත අවදියෙන් තියෙන්නේ හුස්ම ගන්න එක සහ අවට පරිසරය ගැන අවධානයෙන් ඉන්න එක වගේ වැදගත් කටයුතු පවත්වාගෙන යන්නයි. ඒ නිසා ඔවුන් කවදාවත් සම්පූර්ණයෙන් නිදාගන්නේ නැහැ.

මිනිසුන් වගේම ඩොල්ෆින් ද විනෝදයට සෙල්ලම් කරන්න කැමතියි. ඔවුන් වතුර මතුපිටට පැනීම, රළ මත ලිස්සා යාම වගේ දේවල් කරන්නේ විනෝදය සඳහා තමයි.

ඩොල්ෆින් සතුන් ඉතා වේගයෙන් පිහිනන්න පුළුවන් සතුන් පිරිසක්. සමහර ඩොල්ෆින් විශේෂ පැයකට කිලෝමීටර 60ක් තරම් වේගයකින් පිහිනනවා.

ලෝකයේ ඉන්න කුඩාම ඩොල්ෆින් විශේෂය තමයි Mau’s dolphin. එයාලා මීටර 1.7ක් විතර දිගයි.

ඒ වගේම, විශාලතම ඩොල්ෆින් විශේෂය තමයි ඔර්කා (Orca) හෙවත් ඝාතක තල්මසා (Killer whale). ඔර්කා ඩොල්ෆින් විශේෂයක් විදිහට තමයි හඳුන්වන්නේ. එයාලා මීටර 8ක් විතර දිගයි.