ජාතික කෞතුකාගාර විවෘතව තබන දින හා වෙලාව සංශෝධනය වෙයි

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති කොළඹ ජාතික කෞතුකාගාරය හා අනෙකුත් ප්‍රාදේශීය කෞතුකාගාර සැප්තැම්බර් 1 දින සිට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව තබන දින සහ වේලා සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ජාතික කෞතුකාගාර දෙපාර්‌තමේන්තුවට අයත් සියලුම කෞතුකාගාර සතියේ සෑම සඳුදා දිනකම නඩත්තු කටයුතු සඳහා වසා තැබෙන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරි ආරච්චි මහත්මිය පවසනවා.

එසේම රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින අතුරින් ජාතික නිදහස් දිනය, සිංහල හින්දු අළුත් අවුරුදු නිවාඩු දින 2ක්, කම්කරු දිනය හා වෙසක් පොහෝ දිනය යන දින වලද කෞතුකාගාරය වසා තැබෙනු ඇත.

කොළඹ ජාතික කෞතුකාගාරය සහ ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරය පෙ:ව:9.00 සිට ප:ව:6.00 දක්වා විවෘතව තැබෙනවා.

අනෙකුත් ප්‍රාදේශීය කෞතුකාගාර පෙ:ව:9.00 සිට ප:ව: 5.00 දක්වා විවෘතව තබන අතර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ප.ව:4.00ට අවසන් වනවා.

කොළඹ ජාතික කෞතුකාගාරය හා ස්වභාවික විද්‍යා කෞතුකාගාරය නැරඹීමේ ඒකාබද්ධ ප්‍රවේශ පත්‍රය නිකුත් කරන වේලාව ප:ව :3.00 ට අවසන් වන බවයි ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.