2025 පළමු මාස හයේ බදු ආදායම 26%කින් ඉහළට

පසුගිය වසරට සාපේක්ෂව 2025 වසරේ පළමු භාගයේදී ශ්‍රී ලංකාවේ බදු ආදායම් රැස් කිරීම සියයට 26කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

මේ සඳහා අගය එකතු කළ බද්ද (VAT) සහ සුරාබදු බදු වලින් ලැබුණු ආදායම හේතු වී ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

වසරේ පළමු භාගය සඳහා වූ මූල්‍ය සමාලෝචන වාර්තාවේ මුදල් අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, එම කාලය තුළ මුළු ආදායම සියයට 24.8කින් එනම් රුපියල් බිලියන 2,322ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එසේම බදු ආදායම රුපියල් බිලියන 2,152ක් ලෙස සටහන් වී තිබෙනවා. එය වසරින් වසර (වසරට සාපේක්ෂව) සියයට 25.9ක වැඩිවීමකි.

2025 වසරේ පළමු භාගයේදී වැට් බද්දෙන් ලැබෙන ආදායම සියයට 27.6කින් රුපියල් බිලියන 876ක් දක්වා ඉහළ ගිය අතර, මෝටර් රථ සඳහා වන සුරාබදු බද්දෙන් ලැබෙන ආදායම එම කාලය තුළ සියයට 335.6කින් රුපියල් බිලියන 129.1ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

එම කාලය තුළ ආදායම් බදු ආදායම සියයට 9.2කින් ඉහළ ගොස් රුපියල් බිලියන 489ක් ලෙස සටහන් වී තිබෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එහි වාර්ෂික ඇස්තමේන්තුවෙන් සියයට 47.3ක් ලබාගෙන ඇති අතර, එය 2025 පළමු භාගයේදී එකතු කරන ලද මුළු බදු ආදායමෙන් අඩකට පමණ දායක වෙනවා.

මේ අතර, සිගරට් මිල ඉහළ යාමත් සමඟ, 2024 වසරේ එම කාලයට සාපේක්ෂව 2025 වසරේ පළමු භාගයේදී සිගරට් සඳහා වන සුරාබදු බද්ද රුපියල් බිලියන 44.0 දක්වා සියයට 17.9කින් අඩු වී තිබෙනවා.

මේ අතර මෙම කාලය තුළ ඛනිජ තෙල් මත සුරාබදු බද්දෙන් ලැබුණු ආදායම සියයට 15.5කින් රුපියල් බිලියන 112 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවද, 2025 පළමු භාගයේදී ප්‍රාග්ධන සහ ශුද්ධ ණය දීම සියයට 8.6කින් රුපියල් බිලියන 224 දක්වා අඩු වූ අතර, මුළු පොලී ගෙවීම් සියයට 10.7කින් රුපියල් බිලියන 1,264.6 දක්වා ඉහළ ගොස් ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ.