දිවයින පුරා ආබාධිත තත්ත්වයේ පසුවන වනඅලි 20 දෙනෙකු සඳහා මේ වන විට වනජීවි නිලධාරීන් විසින් ප්‍රතිකාර සිදුකරමින් පවතින බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
ප්‍රතිකාර ලබන වන අලින්ගෙන් වැඩි දෙනෙකු වෙඩි වැදීම්වලට සහ මදුවලට හසුවී පාද ආබාධයට ලක්වූ අලින් බවයි සඳහන් වෙන්නේ.
අනුරාධපුර වනජීවි කලාපයේ වන අලින් අටදෙනෙකු, පොළොන්නරුව වනජීවි කලාපයේ වන අලින් සිව්දෙනෙකු, වයඹ වනජිවි කලාපයේ වන අලින් තිදෙනෙකු සහ ඌව වනජීවි කලාපයේ වන අලින් පස් දෙනෙකු එලෙස ප්‍රතිකාර ලබන බව සඳහන් වේ.
මේ අතර වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා පැවසුවේ දිගම්පතහ ප්‍රදේශයෙන් වාර්තා වු වන අලි මරණ තුන සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ වෙනත් සහය ලබාදෙන ලෙසට පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

