FIFA Club ලෝක කුසලානය එංගලන්තයේ චෙල්සි කණ්ඩායමට

මෙවර පාපන්දු ක්‍රීඩා සමාජ ලෝක කුසලාන (FIFA Club World Cup) තරගාවලියේ ශුරතාව දිනාගැනීමට එංගලන්තයේ චෙල්සි (Chelsea) කණ්ඩායම සමත් වුණා.

ඒ අවසන් මහා තරගයේදී ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මේන් (PSG) කණ්ඩායම ගෝල 3-0ක් ලෙස පහසුවෙන් පරාජය කරමිනුයි.

චෙල්සි කණ්ඩායමක් ක්‍රීඩා සමාජ ලෝක කුසලානයක් දිනාගත් පළමු අවස්ථාව මෙය වනවා.

අවසන් මහා තරගය ඇමරිකාවේ New Jersey හි MetLife Stadium ක්‍රීඩාංගණයේ පැවති අතර, තරගය මෙරට වේලාවෙන් අද (14) අලුයම අවසන් වුණා.

මෙම ජයත් සමග ජයග්‍රාහී චෙල්සි කණ්ඩායමට ශුරයන් සදහා පිරිනැමූ අමෙරිකානු ඩොලර් මිලියන 40ක මුදල් ත්‍යාගයට හිමිකම් කීමට අවස්ථාව උදාවිය.

එමෙන්ම ඔවුන් මූලික වටයේ සිට අවසන් මහා තරගය දක්වා එක් එක් අදියර ජයගැනීමේ දී ද අ.ඩො.මි. 89.5ක ත්‍යාග මුදලකට හිමිකම් කියා සිටියේය.

ඒ අනුව ඔවුන්ට අ.ඩො.මි. 129.5ක අතිදැවැන්ත මුදල් ත්‍යාගයකට හිමිකම්කීමට හැකිවිය.

ඔවුන් දිනූ මුදලේ මෙරට වටිනාකම ශ්‍රී ලංකා රුපියල් බිලියන 38කට අධික වනවා.

ඉකුත් ජුනි 14වනදා ආරම්භ වූ මෙම තරගාවලියට ලොව පුරා පාපන්දු කලාප 6ක් නියෝජනය කරමින් කණ්ඩායම් 32ක් සහභාගි වුණා.

මෙය 2000 වසරෙන් පසු එකම සම්මේලනයෙන් (UEFA) කණ්ඩායම් දෙකක් සහභාගී වූ පළමු අවසන් තරඟය ද යුරෝපීය කණ්ඩායම් දෙකක් සහභාගී වූ පළමු අවසන් තරඟය ද වීම විශේෂත්වයක්.

අවසන් මහා තරගය නැරැඹීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද එක් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.