විභාග ප්‍රතිඵල මත අධ්‍යාපනය මනින ක්‍රමය වැරදියි – අගමැති

අපගේ අධ්‍යාපනය ක්‍රමවේදය දෙස අප බලන්නේ ද පටු ආකල්ප මත බවත් විභාග ප්‍රතිඵල වලින් පමණක් අධ්‍යාපනය මනින ක්‍රමය ඉතාම වැරදි බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. 

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහ විද්‍යාලයේ ඊයේ (13) පැවති උසස් අධ්‍යාපනයේ මූලිකාංග අර්ථවත් කරමින් දරුවන්ගේ සාරධර්ම සංවර්ධනය අරමුණු කරගෙන පවත්වන පොළොන්නරු දිස්ත්‍රික් “පංකජ සිසු සමුළුව 2025” අවස්ථාවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවා.

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහ විද්‍යාලය නියෝජනය කරන ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ශිෂ්‍ය අග්‍රාමාත්‍ය ප්‍රවීන් මනීෂ වත්තේගම ශිෂ්‍යයාගේ ආරාධනයකට අනුව අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය මෙම අවස්ථාවට සහභාගී වී තිබෙන බව සඳහන්. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, 

“විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම තුළින් දක්ෂතා සහිත දරුවන්ට තම හැකියාවෙන් සහ දක්ෂතාවයෙන් ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීමට අපි කැපවෙනවා. 

 සංවේදී සමාජයක් නිර්මාණය කිරීමට නම් හොඳ ආකල්ප සහිත සංවේදී දරුවන් බිහි කිරීම අවශ්‍ය බව අපේ ජනාධිපතිතුමා නිතරම කියනවා. තමන්ගේ කාර්යය සහ අවශ්‍යතාවය පමණක් ඉටු කරලා පැත්තකට වෙන දරුවන් නෙවෙයි පොදු සමාජය ගැනම හිතල වැඩ කරන දරුවන් බිහි කිරීමයි වැදගත් වෙන්නේ. 

අද මේ දරුවන්ගේ නිර්මාණශීලීත්වය සහ දක්ෂතාවය දැකල මම ඇත්තටම ගොඩක් සතුටුු වුණා. අපේ රටේ අනාගත නායකත්වය භාරගන්න ඉතාම දක්ෂ දරු පිරිසක් ඉන්නවා කියලා මම මේ වෙලාවේ කියන්න කැමතියි. නිර්මාණශීලීත්වය වගේම මානුෂීය ගුණධර්මවලින් පිරිපුන් දරුවෙක් බිහිකිරීම තමයි අපේ අරමුණ. ඔබේ දක්ෂතා දැකලා මම තවත් ධෛර්යමත් වුණා. ඔබ තමයි අපිට වැඩ කරන්න ශක්තිය දෙන්නේ. අපි සියලු දෙනාම එකතුවෙලා සංවේදී ,  හොඳ ආකල්ප සහිත  සමාජයක් බිහි කරන්න කැපවෙමු.”