තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

අද (13) පෙ.ව. 09.00ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (14) පෙ.ව. 09.00 වන තෙක් වලංගු වනවා.

ඒ අනුව ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා සැලකිලිමත් වන ලෙසයි එම නිවේදනයේ දක්වා ඇත්තේ.
 
ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 55- 65 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැක.

ගාල්ල සිට කොළඹ හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 පමණ දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු සිට රළු දක්වා විය හැකියි.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

මේ හේතුවෙන් පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.