බස් ගාස්තුව 2.5%කින් අඩු වෙයි

බස් ගාස්තුව 2.5%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව ජුලි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි 2.5%කින් බස් ගාස්තු සංශෝධනය කෙරෙන බව එම කොමිෂන් සභාව නිවේදනය කරනවා.

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජූලි මස 01 වනදා සිට බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතු අතර ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද (25) දහවල් ප්‍රවාහන බලධාරීන් සහ බස් සංගම් අතර පැවැත්වුණි.

එහිදී ප්‍රවාහන බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ 2%ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයකින් බස් ගාස්තු සංශෝධනය සිදුකරන බවය.

කෙසේවෙතත් ඊට බස් සංගම් සිය විරෝධය පළ කළ අතර මෙහි ප්‍රතිලාභය මගියාට හෝ බස් සංගම්වලට හිමි නොවන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ප්‍රතිශතය අනුව ගත් කළ බස් ගාස්තුව රුපියලකින් හෝ රුපියල් 2කින් අඩුවෙනු ඇති බවයි.