නව සෝලා පද්ධති සඳහා ගාස්තු සංශෝධනයක්

කැබිනට් මණ්ඩල තීරණයකට අනුව අලුතින් ගිවිසුම්ගත වන සූර්ය බලශක්ති පද්ධති සඳහා වන ගාස්තු සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ජුනි මස 16 වැනිදා සිට මෙම සංශෝධිත ගාස්තු ක්‍රියාත්මක බවයි බලශක්ති අමාත්‍යාංශය විසින් ජුනි මස 20 වැනිදා ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ.

කිලෝවොට් 5 දක්වා ඒකකයක් රුපියල් 20.90ක්, කිලෝවොට් 5 සිට කිලෝවොට් 20 දක්වා ඒකකයක් රුපියල් 19.61ක්, කිලෝවොට් 20 සිට කිලෝවොට් 100 දක්වා ඒකකයක් රුපියල් 17.46 ක් දක්වා ගාස්තු සංශෝධනය කර තිබෙනවා.

එමෙන්ම කිලෝවොට් 100 සිට කිලෝවොට් 500 දක්වා ඒකකයක් රුපියල් 15.49ක්, කිලෝවොට් 500 සිට මෙගාවොට් 1 දක්වා ඒකකයක් රුපියල් 15.7ක් සහ මෙගාවොට් 1කට වැඩි ඒකකයක් සඳහා රුපියල් 14.46ක් දක්වා ගාස්තු සංශෝධනය කෙරෙනවා.

මින් පෙර එම ගාස්තු පැවතියේ කිලෝවොට් 500 දක්වා රුපියල් 27.6ක් සහ කිලෝවොට් 500ට වැඩි රුපියල් 23.18ක් ලෙසයි.

සංශෝධිත ගාස්තු අදාළ වන්නේ 2025 වසරේ ජුනි මස 16 හෝ ඊට පසුව පද්ධති නිෂ්කාශන ගාස්තු ගෙවන අයදුම්කරුවන් සඳහා පමණක් වන අතර 2025 ජූනි මස 16 හෝ ඊට පසුව ඉදිරිපත් කරන දීර්ඝ කිරීමේ ඉල්ලීම් සඳහා ද මෙම නව ගාස්තු අදාළ වන බවයි අදාළ ලිපියේ දක්වා ඇත්තේ.

2025 ජුනි මස 16 හෝ ඊට පෙර නිෂ්කාශන ගාස්තු ගෙවා ඇති සියලුම ඉල්ලීම්ද 2025 ජූලි 31 වන විට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඇගයීමට ලක් කර අවසන් කළ යුතු වනවා.