ඉන්දුනීසියාවේ Lewotobi ගිනි කන්ද සක්‍රිය වෙයි

ඉන්දුනීසියාවේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටා ඇති Lewotobi Laki-Laki ගිනි කන්ද සක්‍රිය වී තිබෙනවා.

ගිනිකන්දෙන් පිටවන අළු සහිත දුමාරය සැතපුම් 6කට (කිලෝමීටර් 11) වඩා ඉහළ අහසේ විසිරී ඇති බවයි ඉන්දුනීසියාවේ භූ විද්‍යා ඒජන්සිය සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් ඉන්දුනීසියාවේ බාලි දූපතට සහ ඉන් පිටතට යන ගුවන් ගමන් 32ක් පමණ අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගිනි කන්ද සක්‍රිය වීම හේතුවෙන් සිදු වූ හානි කිසිවක් වාර්තා වී නොමැත.

කෙසේවෙතත් ගිනි කන්ද අසල ගම්මාන කිහිපයකින් පදිංචිකරුවන් පූර්වාරක්ෂාවක් ලෙස ඉවත් කර තිබෙනවා.

එසේම ගිනි කන්දේ ආවාටයේ සිට කිලෝමීටර් 7 (සැතපුම් 4.35) ක් ඇතුළත වූ ප්‍රදේශයෙන් ඉවත්ව කටයුතු කරන ලෙසත් ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.