ඉරානය සහ ඊශ්‍රායලය නැවතත් ප්‍රහාර එල්ල කරයි

ඉරානය විසින් මධ්‍යම හා උතුරු ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර රැසක් දියත් කර ඇතැයි වාර්තා වෙනවා.

එම ප්‍රහාර වලින් ටෙල් අවිව් අගනගර ප්‍රදේශයේ පිහිටි බැට් යම් නගරයේ පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති අතර සියදෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වෙනවා.

එසේම උතුරු ටම්රා නගරයේ අසල්වැසි ප්‍රදේශයකට ද පහර දී ඇති අතර අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇති බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරනවා.

ඊට පිළිතුරු ලෙස ඊශ්‍රායලය ද ඉරාන න්‍යෂ්ටික යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර විශාල ප්‍රමාණයක් සිදු කර තිබෙනවා.

එහි දී විශේෂයෙන් ඉරාන ආරක්ෂක අමාත්‍යංශයේ මූලස්ථානය සහ ආරක්ෂකක නවොත්පාදන හා පර්යේෂණ සංවිධානය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළ බවයි ඊශ්‍රායල හමුදා කියා සිටියේ.

නවතම ඊශ්‍රායල ප්‍රහාරවලින් අගනුවර ෂහ්රාන් තෙල් ගබඩාවට හානි සිදුවී ඇති බව ටෙහෙරානයේ තෙල් අමාත්‍යාංශය පවසනවා.

මේ අතර ඊශ්‍රායලය විසින් මෙම එල්ල කරන ප්‍රහාර නතර නොකළහොත් “වඩාත් දරුණු” ප්‍රතිචාරයක් දක්වන බවට ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් අවධාරණය කරනවා.