මැදපෙරදිග යුද උණුසුමෙන් බොරතෙල් මිලට දැඩි බලපෑමක්

ඊශ්‍රායලය අද (13) අලුයම් කාලයේ ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීම හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට දැඩි බලපෑමක් එල්ලවී තිබෙනවා.

අද දිනයේ බොරතෙල් මිල 9%ක අගයකින් ඉහළගොස් ඇති අතර එය පසුගිය මාස 5තුළ වාර්තාවූ ඉහළම අගය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් අ.ඩො 6.29කින් ඉහළ ගොස් ඇති අතර එහි නවතම මිල අ.ඩො. 75.65ක අගයක් වනවා.

පසුගිය ජනවාරි 27 වනදා බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 78.50ක අගයක් ගත් අතර ඉන් පසු වාර්තාවූ ඉහළම මිල මෙය වෙයි.

මෙම කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ගෝලීය වෙළෙඳාමටද දැඩි බලපෑමක් එල්ලකරමින් පවතිනවා.

ලෝකයේ වැදගත්ම නැව් මාර්ගවලින් එකක් වන හෝමූස් සමුද්‍ර සන්ධියට ඉරානය විසින් ප්‍රහාර එල්ල කළහොත් බොරතෙල් බෙදා හැරීමට ද විශාල බලපෑමක් එල්ල විය හැකි වනවා.