බුදු දහමේ මඟ අනුව යමින් නැවතත් ස්වයංපෝෂිත රටක් කරා පියනගමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
පොසොන් පොහොය දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
බුදුරජාණන් වහන්සේ විසින් වදාළ අති උතුම් සද්ධර්මය රැගෙන මෙරටට වැඩම කළ මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය සිහිපත් කරමින් වසර දහස් ගණනක සිට අප රටේ ජනතාව ඉමහත් ශ්‍රද්ධාවෙන් භක්තියෙන් පොසොන් උත්සවය සමරන බවයි හෙතෙම පවසනවා.
මිහිදු මහ රහතන් වහන්සේගේ ලංකාගමනයත් සමඟ අප රටට බුදු දහම පමණක් නොව තවත් කලා ශිල්ප, සංස්කෘතීන් නියෝජනය කරමින් 18ක කුලයක ප්රවීණයන්ගේ ආභාෂය ද ලැබුණු බව ඓතිහාසික මූලාශ්‍ර සාක්ෂි දරන බවත් එම කලා ශිල්ප අප රටේ සංස්කෘතියට සිදු කළ බලපෑම අතිමහත් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
අප රට ලෝකය පුරා ප්‍රසිද්ධ වූයේ පෙරදිග ධාන්‍යාගාරය යනුවෙන් බවත් නැවත වරක් අප රටක් ලෙස එසේ නැගී සිටිය යුතු බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.
එබැවින් රටක් ලෙස සශ්‍රීක වී ස්වයංපෝෂිත විය යුතු බවත් ඒ සඳහා බුදු දහමින් පෙන්වා දුන් නිවැරදි මගපෙන්වීම ලබා ගෙන ඉදිරියට යාමට අප කටයුතු කළ යුතු බවයි ඔහු පවසන්නේ.



