පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයන් අදත් වර්ජනයේ

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීන් 5කට අයත් වෘත්තීය සමිති විසින් ඊයේ ආරම්භ කළ වැඩවර්ජනය අද (06) දෙවන දිනටත් සිදුකරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ලේකම් චානක ධර්මවික්‍රම මහතා පවසනවා.

පැය 24ක මෙම වැඩවර්ජනය ඊයේ (05) උදෑසන 8ට ආරම්භ වූ අතර අද උදෑසන අවසන් කිරීමට නියමිතව තිබුණි.

කෙසේවෙතත් ඊයේ රැස්වූ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ විධායක සභාව අඛණ්ඩව පැය 48ක් දක්වා වර්ජනය ක්‍රියාත්මක කීරීමට තීරණය කරනු ලැබුවා.

උසස්වීම්, සතිඅන්ත හා නිවාඩු දින දීමනා, උපාධිධාරීන් බඳවා ගැනීම, වැටුප් හා දීමනා, විශ්‍රාම තත්ත්වයන්ට අදාළ එකඟතා නොසලකා හැරීම සහ සීමාවාසික පුහුණුව යන ගැටලු සහ ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන ලෙස සඳහන් කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක වනවා.

මේ අතර ඊයේ (05) සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නම් ප්‍රථමයෙන් සේවයට වාර්තාකරන ලෙසය.

අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය දන්වා සිටියේ, තම ගැටළු විසඳීම සඳහා වර්තමාන සෞඛ්‍ය අමාත්‍යතුමාගේ සාධනීය මැදිහත්වීමක් නොවීම හේතුවෙන් තවදුරටත් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය වෙත එළැඹීමට සිදු වූ බවයි.

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටළු විසඳාගැනීම සඳහා ඉහළ ශක්‍යතාවයක් පැවතියද, ඊට අදාළ විසඳුම් ලබාදීම වෙනුවට එම ඉල්ලීම් දේශපාලනික න්‍යාය පත්‍රයන් ලෙස හඳුන්වා දෙමින් වැරදි සහගත නිර්වචනයන් ලබාදීම සිදුවූ බවද නිවේදනයක් නිකුත්කරමින් ඔවුන් සඳහන් කර සිටිනවා.

ඒ අනුව ගැටළු විසඳීමට අදාළ කටයුතු සිදු කෙරෙනු ඇතැයි අපේක්ෂිතව කටයුතු කරද්දි, පරිපුරක වෛද්‍ය උපාධිධාරීන් බඳවාගැනීමට අදාළව සිදුකරනු ලැබූ අත්තනෝමතික ක්‍රියාව හේතුවෙන් අකමැත්තෙන් හෝ මෙම වර්ජන ක්‍රියාමාර්ග වෙත එළඹීමට සිදු වූ බවද අදාළ නිවේදනයේ දැක්වේ.

කෙසේ නමුත් පසුගිය රජයන් හමුවේ ක්‍රියාත්මක වූ සමහර දේශපාලනික වෘත්තීය සමිති ව්‍යාපාරයන් මෙන් පවතින රජය අපහසුතාවයට පත්කිරිම හෝ වෙනත් පාර්ශ්වයක් බලයට රැගෙන ඒමේ අවශ්‍යතාවයක් මත මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක නොවන බවද පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අවධාරණය කරනවා.