ආසියාවේ පැතිර යන කොව්ඩ් ප්‍රභේදය ලංකාවෙනුත්

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වී ඇති බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවයි ඔහු අවධාරණය කළේ.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙනවා.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.