රටපුරා PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරයි

නව කොවිඩ් ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නේදැයි සොයා බැලීම සදහා රට පුරා පී.සී.ආර් පරීක්ෂණ වැඩිකිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. 

ලොව පුරා රටවල් රැසක නැවත වරක් ව්‍යාප්තව පවතින නව කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ අවධානයක් යොමු කරමින් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර නැවතත් කොවිඩ්-19 රැල්ලක් අග්නිදිග ආසියාව පුරා පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීනය සහ සිංගප්පූරුව ඇතුළු රටවල මේ වන විට දහස් සංඛ්‍යාත කොවිඩ්-19 රෝගීන් වාර්තා වී ඇති අතර, තායිලන්තයේ පමණක් මෙ විට පුද්ගලයින් 46 දෙනෙකු මියගොස් ඇති බව සඳහන් වේ.

ජනවාරි මස සිට මැයි මස දක්වා තායිලන්තයේ COVID-19 රෝගීන් 187,031 ක් සහ COVID මරණ 46 ක් වාර්තා විය.

හොංකොං, සිංගප්පූරුව, චීනය සහ තායිලන්තය යන රටවල ජනාකීර්ණ ප්‍රදේශවල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර හොංකොං සහ සිංගප්පූරුව වැනි ප්‍රධාන නගරවල සෞඛ්‍ය බලධාරීන් විසින් විශේෂ පරීක්ෂා කිරීම් සිදුකර අතර, චීනයේ සහ තායිලන්තයේ නව බූස්ටර් එන්නත් ලබාගන්නා ලෙසට ජනතාවට දැනුම් දී ඇති බව සඳහන් වේ.

හොංකොං හි සෞඛ්‍ය අංශ පවසන පරිදි , නගරයේ වෛරස් ක්‍රියාකාරිත්වය මේ වන විට “තරමක් ඉහළ” මට්ටමට පැමිණ තිබේ.

එමෙන්ම හොංකොං හි කොවිඩ් ආසාදිත වූ සාම්පල ප්‍රතිශතය ද ඉහළම මට්ටමට ළඟා වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ආසියාවේ කොවිඩ්-19 රෝගීන්ගේ වැඩිවීමට හේතු වී ඇත්තේ ඔමික්‍රොන් හි උප ප්‍රභේදයක් වන JN.1 ප්‍රභේදය වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද  JN.1 ප්‍රභේදයට “උනන්දුවක් දක්වන ප්‍රභේදයක්” ලෙස නම් කර ඇති නමුත් තවමත් එය “කනස්සල්ලට පත්වන ප්‍රභේදයක්” ලෙස නම් කර නැහැ.