බහුතරය දිනූ පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට දැනුම් දීමක්

පළාත් පාලන ආයතනවල බහුතරය හිමිකරගත් පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට එම ආයතනවල සභාපතිවරුන් නම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.

එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, සියයට 50කට වැඩි බහුතර ඡන්ද ප්‍රතිශතයකින් පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළ පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල ලේකම්වරුන්ට අදාළ දැනුම්දීම සිදුකරන බවය.

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල ඊයේ (07) දිනයේ නිකුත් වූ අතර එහිදී පළාත් පාලන ආයතන රැසක බලය හිමිකර ගැනීමට ජාතික ජනබලවේගය සමත් වුණා.

සමගි ජන බලවේගය, ඉලංකෙයි තමිල් අරසු පක්ෂය සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයකට ද තවත් පළාත් පාලන ආයතනවල බලය හිමිව තිබේ.

කෙසේවෙතත් බොහෝ පළාත් පාලන ආයතනවල සියයට 50කට වැඩි ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීමට එම පක්ෂවලට නොහැකි වී තිබෙනවා.