2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට පළාත් පාලන ආයතන 339ක් සඳහා අනිද්දා (06) පෙරවරු 7ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඊට අදාළ සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.
ඒ සඳහා ඡන්ද දායකයින් 17,156,338 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටියි.
මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්රිකා නොලැබුණ ද ලියාපදිංචි සෑම ඡන්දදායෙකුටම ඡන්දය භාවිත කිරීමට අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා සඳහන් කළේය.
ඡන්දය භාවිත කිරීම සඳහා වලංගු හැඳුනුම්පත් ලෙස ඡන්දදායකයින්ට භාවිත කළ හැකි ලේඛන සම්බන්ධයෙන් ද සමන් ශ්රී රත්නායක මහතා පැහැදිලි කරනු ලැබුවා.
එහිදී ඔහු පැවසුවේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ ජාතික හැඳුම්පත, වලංගු විදේශ ගමන්බලපත්රය, වලංගු රියදුරු බලපත්රය, විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති රාජ්ය සේවකයින්ගේ විශ්රාමීක හැඳුනුම්පත, එමෙන්ම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, මෝටර්රථ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් හැඳුනුම්පතක් සකස්කරන තුරු ලබාදෙන ඡායාරූපය සහිත තාවකාලික ලියවිල්ල ප්රමාණවත් වන බවයි.
එමෙන්ම මෙම කිසිදු ලියකියවිල්ලක් නොමැති නම් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත ද භාවිතා කළ හැකි වනවා.

