සිරි දළදා වන්දනාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා

සිරි දළදා වන්දනාවට සහභාගී වන සැදැහැවතුන්ට මහනුවරට පැමිණීම සඳහා අවශ්‍යය සියලු‍ ප්‍රවාහන පහසුකම් මේ වන විට සපයා තිබෙනවා.

ඒ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය හා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති අතර ඒ සඳහා අමතර බස් රථ සහ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව දෛනිකව මහනුවර බලා ධාවනය වන දුම්රිය ගමන්වාරවලට අමතරව තවත් දුම්රිය දෙකක් ධාවනයට එක් කර තිබෙනවා.

අද දිනයේ පමණක් කොළඹ කොටුවෙන් මහනුවර බලා ධාවනය කෙරෙන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව 09 ක් වනවා.

මීට අමතරව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය ද සිරි දළදා වන්දනාව වෙනුවෙන් අමතර බස් රථ 150 ක් පමණ ධාවනයට එක් කර තිබෙනවා.

ඒ අනුව අද පෙරවරුවේ සිටම කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළෙන් ද විශේෂ ලංගම බස් රථ කිහිපයක් මහනුවර බලා ධාවනය කිරීමටයි පියවර ගෙන තිබුණේ.

එමෙන්ම කොළඹ සිට මහනුවරට පැමිණෙන ජනතාවට ශ්‍රි දළදා වන්දනාව සඳහා කටුගස්තොට සිට විශේෂ මගී බස් රථ 70 කට ආසන්න ප්‍රමාණයක් යොදවා තිබෙනවා.