ගමට යන ජනතාවට අද සිට විශේෂ දුම්රිය 10ක්

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාවට විශේෂ දුම්රිය සේවා අද (11) සිට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ සඳහා විශේෂ දුම්රිය 10ක් ධාවනයට එක් කෙරෙන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ.

ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල බලා අද රාත්‍රී 7.30ට විශේෂ දුම්රියක් ධාවනය කෙරෙන අතර, ඊට  සමගාමීව බදුල්ලේ සිට කොළඹ කොටුව බලා එක් දුම්රියක් පැමිණීමට නියමිතය.

මීට අමතරව කොළඹ කොටුව සිට ගාල්ල දක්වා අද රාත්‍රී 7.20ට විශේෂ දුම්රියක් ධාවනය කෙරෙන අතර, ඊට සමගාමීව ගාල්ලේ සිට කොළඹ කොටුවට බලා දුම්රියක් පැමිණීමට නියමිතය.

මීට අමතරව අද පෙරවරුවේදී කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා දුම්රියක් ධාවනය වූ අතර, එය නැවත 18වනදා ආපසු පැමිණීමට නියමිතව ඇත.

මෙම විශේෂ දුම්රිය 10 මගින් අවුරුදු සමයේ සහ දීර්ඝ සතිඅන්ත නිවාඩු කාලය තුළ ගමන්වාර 31ක් ධාවනය කෙරෙන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් කියා සිටියේ.