මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන නිල නිවේදනයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ඉන්දියාව විසින් නිල වශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මස 4 සිට 6 දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වෙනු ඇති බවය.

මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග ද්විපාර්ශ්වි සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙරට රැඳීසිටින කාලය තුළදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අනුරාධපුර ජය ග්‍රී මහා බෝධීන් වහන්නේ වැඳපුදා ගැනීමට සහ ඉන්දීය රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමට නියමිත බවද එහි සඳහන් වෙයි.

එසේම මෙම සංචාරය තුළදී දෙරට අතර අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කරගැනීමට ද සැලසුම් කර තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග මෙම සංචාරය සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා, ජාතික ආරක්ෂක උපදේශකවරයා, ඉන්දීය විදේශ ලේකම්වරයා සහ ඉන්දීය රජයේ තවත් ජ්‍යේෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගීවීමට නියමිත ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.