රාජ්‍ය ආයතන වල නීති සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමක්

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීතිරීති හා රෙගුලාසි සමාලෝචනයට ලක්කර සරල කිරීම සඳහා මහජන අදහස් හා යෝජනා කැඳවා තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ජනතාව වෙත මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලන සහ පළාත් පරිපාලනය යාන්ත්‍රණය තවමත් ක්‍රියාත්මක වන්නේ බ්‍රිතානඨ යටත්විජිත සමයේ ආඥා පනත් සහ 1950 සිට 1970 දශකවල පනවනු ලැබූ නීති රෙගුලාසි හා ක්‍රියා පටිපාටි අනුවය.

එවකට පැවති සමාජ ආර්ථික තත්ත්වය, ප්‍රවාහන හා සන්නිවේදන යටිතල පහසුකම් පදනම් කරගනිමින් මෙම ක්‍රියා පටිපාටි ගොඩනගා ඇති අතර, වර්තමාන සංවර්ධන අවශ්‍යතා සහ මහජන කාර්යයන් ඉටුකිරීමට මෙම ක්‍රියා පටිපාටි කාලීනව සංශෝධනය විය යුතු බව එම නිවේදනයේ සඳහන් වෙනවා.

ඒ අනුව පහත සඳහන් ආයතනවලින් ලබාගන්නා සේවා සම්බන්ධයෙන් නිරීක්ෂණය කර ඇති නීති, රෙගුලාසි හා ක්‍රියා පටිපාටි ගැටලු, එම ගැටලු විසඳීම සඳහා වූ යෝජනා පහත ලිපිනයට එවන ලෙසයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

සම්බන්ධීත රාජ්‍ය ආයතන – 

* දිස්ත්‍රික් ලේකම් කාර්යාල
*ප්‍රාදේශීය ලේකම් කාර්යාල
*මහ නගර සභා
*ප්‍රාදේශීය සභා 
*රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව 
*විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව

අදහස් එවිය යුතු ලිපිනය – 

විද්‍යුත් ලිපිනය – inforan@moha.gov.lk
Whatsapp – 00740896768
ලිපිනය – ප්‍රාදේශීය පරිපාලන ප්‍රතිසංස්කරණ අංශය, 17 වන මහළ, නිල මැදුර ඇල්විටිගල මාවත, කොළඹ 05