ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විශේෂ දැනුම් දීමක්

කොළඹ වරායේ දකුණු ජැටියේ සිට කොළොන්නාව ගබඩාවට ඉන්ධන පොම්ප කරන භූගත නළයේ හටගත් කාන්දුව සම්පූර්ණයෙන් පිළිසකර කිරීමට තවත් දින දෙකක් හෝ ඊට වැඩි කාලයක් ගතවනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

කොළඹ වරායේ දකුණු ජැටියේ සිට කොළොන්නාව ගබඩාවට ඉන්ධන පොම්ප කරන භූගත නළ දෙක අතරින් එක් නළයක කාන්දුවක් ඊයේ රාත්‍රියේ හට ගෙන තිබුනා.

මෙම ඉන්ධන පොම්ප කිරීම පස්වරු 4ට පමණ ආරම්භ කර ඇති අතර, අදාළ නලයෙන් ඉන්ධන කාන්දු වන බව නිරීක්ෂණය වී ඇත්තේ ඊයේ රාත්‍රී 7ට පමණ බව වෘත්තිය සමිති ප්‍රකාශ කළා.

රාත්‍රී 7.35ට පමණ අදාළ ඉන්ධන කාන්දුව වැළැක්වීමට පියවර ගෙන ඇති අතර, කාන්දුවන ඉන්ධන, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් එක්ව එකතු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 14,000ක් පමණ එම අවස්ථාවේ අදාළ නලය හරහා පොම්ප කරමින් තිබූ බවයි වාර්තා වෙන්නේ.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ඒ. රාජකරුණා පැවසුවේ, අදාළ නළයේ පිළිසකර කිරීම ආරම්භ කර ඇති අතර එය අවසන් කිරීමේ දිනයක් නිශ්චිතව කිව නොහැකි බවයි.

කෙසේ වෙතත් මෙම කාන්දුවත් සමග අපතේ ගිය ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ප්‍රමාණය හේතුවෙන් සංස්ථාවට රුපියල් මිලියන 100ක පමණ අලාභයක් සිදුව ඇති බව ඛනිජ තෙල් වෘත්තිය සමිති සංධානයේ මාධ්‍ය ප්‍රකාශක ආන්නද පාලිත පැවසුවා.