වැඩබලන පොලිස්පතිවරයාගෙන් නව චක්‍රලේඛයක්

පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණෙන පාර්ශවයන්ගේ පැමිණිලි බාර නොගෙන ප්‍රතික්ෂේප කරන නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.

චක්‍රලේඛයක් නිකුත් කරමින් වැඩබලන පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ විනය ක්‍රියාමාර්ගවලට අමතරව පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව එවැනි නිලධාරීන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද හැකියාව පවතින බවය.

පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පැමිණෙන පාර්ශවයන්ගේ පැමිණිලි වාර්තා නොකර නොයෙකුත් කරුණු ඉදිරිපත් කරමින් එකී පැමිණිලි ප්‍රතික්ෂේප කරනු ලබන බවට තමා වෙත ලිඛිතව සහ වාචිකව පැමිණිලි ලැබී ඇති බවට ඔහු සඳහන් කරනවා .

එසේ ප්‍රතික්ෂේප කිරීමට හේතුලෙස පොලිස් ස්ථාන භාර නිලධාරීන් සහ සෙසු නිලධරයන් විවිධ කරුණු ඉදිරිපත් කරන බවට ද තොරතුරු වාර්තා වී ඇති බවට ද සිය චක්‍රලේඛය මගින් වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී ඇත.

කෙසේවෙතත් පොලිස් ස්ථාන වෙත වාර්තා වන පැමිණිලි සටහන් කිරිම සහ විමර්ශනය කිරීම පොලිස් නිලධාරීන්ගේ යුතුකමක් හා වගකීමක් වන බවයි හෙතෙම අවධාරණය කරන්නේ .

ඒ අනුව මින් ඉදිරියට පොලිස් ස්ථාන වෙත ලැබෙන කිසිදු පැමිණිල්ලක් බාර නොගෙන ප්‍රතික්ෂේප කළ නොහැකි බව වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කළ එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වනවා.