අනවශ්‍ය ලෙස ලුණු තොග රැස් කිරීමෙන් වළකින්න

අනවශ්‍ය ලෙස ලුණු තොග රැස් කරගැනීමෙන් වළකින ලෙස හම්බන්තොට ලංකා ලුණු සමාගමේ නව සභාපති ටී. නන්දන තිලක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඔහු පැවසුවේ ලුණු හිඟයක් පිළිබඳ මේ වන විට කතා බහක් නිර්මාණය වී තිබීම හේතුවෙන් ජනතාව බියට පත් වී ලුණු තොග වශයෙන් නිවෙස් වෙත ගෙන ගොස් තැන්පත් කර ගැනීම් සිදුකරන බවය.

ඔහු මෙම අදහස් පළ කරනු ලැබුවේ හම්බන්තොට ලංකා ලුණු සමාගමේ නව සභාපතිවරයා ලෙස ඊයේ (28) වැඩ භාරගතත් අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ මාසයක කාලයක් තුළ සාමාන්‍ය නිවසකට ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට් 2ක් සහ කැට ලුණු කිලෝ 1ක් ප්‍රමාණවත් වන බවය. 

මේ වන විට ලංකා හම්බන්තොට ලුණු සමාගම සතුව මෙට්‍රික් ටොන් 6000ක ලුණු ප්‍රමාණයක් පවතින බවත් එය ජනවාරි මාසය දක්වා ප්‍රමාණවත් බවද ඔහු පැවසීය.

තවද යම් ආකාරයකට ලුණු හිඟයක් ඇති වේ යැයි පවතින සැකය මත පිටරටින් ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට සූදානම් කර ඇතැයිද ඔහු සඳහන් කළා.