යාපනයේ මී උණ තවත් උත්සන්න වෙයි

යාපනයට බලපා ඇති මී උණ තර්ජනය යළිත් උත්සන්න වී ඇති බව උතුරේ සෞඛ්‍ය නිලධාරීන් පවසනවා.

එක් දිනයක් ඇතුළත යළිත් මී උණ රෝගය වැළදුණු රෝගීන් හතර දෙනෙකු යාපනය ශීක්ෂණ රෝහලට හා පේදුරුතුඩුව මන්තිහෙයි රෝහලට ඇතුළත් කොට ඇති බවයි වාර්තා වෙන්නේ.

එසේම රෝගය වැළඳී ඇති බවට සැක කෙරෙන එහෙත් මෙතෙක් නිශ්චය වශයෙන් පරීක්ෂණ වලින් සනාථ නොවූ රෝගීන් හත් දෙනෙකු ද යාපනයෙන් හමු වී තිබෙනවා.

යාපනය ඇතුළු උතුරු ප්‍රදේශයෙන් මී උණ රෝගය තුරන් කිරීම සදහා සෞඛ්‍ය නිලධාරීන් ඉතා කාර්යක්ෂම වැඩසටහන් ගණනාවක් ප්‍රදේශ පුරා දියත් කොට තිබියදී යළිත් මෙලෙස මී උණ වසංගතය උත්සන්න වීම විශාල තර්ජනයක් වී තිබෙනවා.

කෙසේ වෙතත් ගත වූ කාලය ඇතුළත මී උණ රෝගය හේතුවෙන් රෝගීන් නව දෙනෙකු උතුරු ප්‍රදේශයේ රෝහල්වලදී මියගොස් ඇත

එසේම පුද්ගලයන් 234 දෙනෙකු එම රෝගය සදහා ප්‍රතිකාර ලබා ගෙන තිබුණා.

එමෙන්ම යාපනය හා උතුරු ප්‍රදේශය පුරා මී උණ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක වනවා.